Tuesday, December 15, 2015

කනත්තේ ජීවත් වන වත්තේ මිනිස්සු

"මේ ලැයිමේ මැරෙන්න මම ආස නැහැ. මට මැරෙන්න  ඕන වෙන ගෙයක. මැරෙන්න කලින් ලස්සන ගෙයක් හදලා ඒකේ පදිංචි වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අවුරුදු ගාණක් මේ කනත්තේ අපි ජීවත් වුණාට අපිට මේ කනත්ත අයිති නැහැ...."

මේ ලෙච්චමි. වේයන්ගොඩ කනත්තේ ලෙච්චමි. මට මුණ ගැසෙන විට ඈ සිටියේ ලැයිම් කාමරේ දොරකඩ ඇණ තියාගෙන. කවදාවත් සෙරෙප්පු දාන්නේ නැති නිසා ඇගේ දෙපා නිරුවත්ව කළුවට පෙණුනා. බුලත් කෑමෙන් දත්වල කහ මැලියම බැඳිලා. කලූ කොණ්ඩය පිටිපස්සට පීරලා තෙල් ගල්වා තිබුණා. පිටි පස්සේ කූඹිගුලක හැඩයට ගැට ගැසූ කොණ්ඩ ගෙඩිය ඇයට එක් කළේ අමුතු ලස්සනක්. ඇය ජීවත් වන ලැයිම් කාමරේ වුණත් පිරිසිදුයි. අනිත් කාමරවලින් එන ඳුගද ලෙච්චමිගේ කාමරෙන් එන්නේ නැහැ.  නුදුරින් පෙනෙන සොහොන් කොතක මුදුනේ ඇගේ නෙත් රැදී තිබුණා.

"නෝනා ඉස්සරහ තියෙන කනත්ත ඒකාලේ ඉඳන් තියෙන එකක්. අපේ ගම නුවර. 1967දී අපේ මුළු පවුලම වේයන්ගොඩට ආවා. අපි ආවේ කුණු අදින රක්ෂාවට. පස්සේ ප‍්‍රාදේශීය සභාවේ අය මේ කනත්තේ අපිව පදිංචි කෙරුවා. කලක් යන කොට තව තව පවුල් ආවා. දැන් මේ ලයිමේ පවුල් 55ක් විතර ඉන්නවා. හැමෝම කරන්නේ කුණු අදින එක. නැත්නම් කුලීවැඩක් කරලා ජීවත් වෙනවා....."


වේයන්ගොඩ කනත්ත තියෙන්නේ වේයන්ගොඩ නගර මධ්‍යයේ සිට මීටර් 300ක් විතර දුරකින්. ලෙච්චමිලා ජීවත් වෙන ලැයිම් කාමර පේළිය තියෙන්නෙත් වේයන්ගොඩ කනත්තේ පිටිපස්සේ කනත්තේම කොටසක. ඒක හදලා දීලා තියෙන්නේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව. ලෙච්චමිලා ප‍්‍රාදේශීය සභාවේ මුදලට කුණු අදින අය. නැතිනම් කම්කරුවෝ. ප‍්‍රාදේශීය සභාවේ මහත්වරු කනත්තත් ලයිම් කාමර පේළියත් වෙන් කරලා මිටි තාප්ප කෑල්ලකුත් ගහලා. මේ මිටි තාප්පය නිසා ලෙච්චමිලට කනත්තට යන්න අවසර නැහැ. නමුත් කවදක හරි ලෙච්චමිලා මේ තාප්පෙන් එහාට යනවා.

"මට දැන් වයස අසූවක් විතර ඇති. නෝනලට දොදොල් හැදි ගාලා දෙන්න මට හයියක් නැහැ. බර වැඩ කරන්නත් බැහැ. මට දරුවෝ හතර දෙනෙක් හිටියා. වැඩිමල් කෙනා ආගිය අතක් නැහැ. තුන්වැන්නා රට. පොඩි එක්කෙනා කුණු අදිනවා. අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැන්දෑවට බීලා තියෙන සල්ලි ඔක්කොම නාස්ති කරනවා. මගේ මහන්සියෙන් මම කන්නේ....."

ලෙච්චමිගේ දෙතොලට ශෝකි හඬක් මුසුවිය. ඔයිල් සාරියෙන් ඈ ඇසේ කඳුලූ පිස දැමීය. "අපේ ළමයින්ට දැන් හරියට ඉගෙන ගන්න විදියක් නැහැ. හැමෝම කරන්නේ කුණු අදින රක්ෂාවෙන් හරි කුලී වැඩෙන් හරි ලැබෙන සොච්චමෙන් හවසට අරක්කු බොන එක. තව ගොඩාක් දේවලූත් කරනවා. අපේ ළමයින්ගේ ළමයිනුත් දැන් දැන් අරක්කු බොන්න පුරුදු වෙලා. අපිට අපේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න විදියකුත් නැහැ. අපිට කොහෙද නෝනා ඉඩම් ඔප්පු. අපි ජීවත් වෙන්නේ අපිට අයිති නැති තැනක...." යැයි ලෙච්චමි පැවසුවේ පුංචි පුංචිම ලැයිම් කාමරය පෙන්වමිනි.

ලෙච්චමී ජීවත් වන ලැයිම් කාමරය පුංචිම පුංචි එකක්. ඉස්සර දොරින් බැලූවම පිටිපස්ස දොර එක එල්ලේම පේනවා. කාමර නැහැ. නිදන කොටස වෙන් කරන්නේ සාරියකින්. මේ වගේ නිවාස 55 ක් වේයන්ගොඩ කනත්තේ තියෙනවා. ඒ ගෙවල් 55 තියෙන්නේ පර්චස් 40ක් වූ පොඩි ඉඩක. එක ලැයිම් කාමරයක පවුල් දෙකක්, තුනක් ජීවත් වෙනවා. ඒත් මේ අයට මේ ලැයිම්වල ස්ථීර අයිතියක් ඔවුන්ට නැහැ. ප‍්‍රාදේශීය සභාවේ රැුකියාව තියෙන තාක්කල් කනත්තේ මිනිස්සුට මේ ලැයිමේ ජීවත් වෙන්න පුළුවන්. රක්ෂාව නැති වුණාම ඔවුන්ට ලැයිම් කාමරෙත් අහිමි වෙනවා. ඔවුන්ට තියෙන එකම විශ්වාසය දෙවියන් විතරයි. පත්තිනි මෑණි ඒ අතරින් ප‍්‍රධානයි. පත්තිනි මෑණි උදෙසාත් අවශේෂ දෙවියන් උදෙසාත් කනත්තේ මිනිස්සු දේවාලයකුත් හදලා. එකේ පූජා පවත්වන්නේ ලෙච්චමි.

"මගේ තාත්තගේ නම ධර්මලිංගම්. මුල්කාලයේ මෙහේ හිිටියේ අපේ ධර්මලිංගම් පවුලයි ධර්මදොරේ පවුලයි විතරයි. ටිකක් කලක් යනකොට අපි දේවාලයක් පටන් ගත්තා. අපි භේදයක් නැතිව හැම දෙවි කෙනෙක්ම අදහනවා. පත්තිනි මෑණි ඒ අතරින් විශේෂයි. පත්තිනි මෑණි තමයි දේවාලේ වැඩ සිිටින්නේ. සිංහල පවුල් පවා මේ දේවාලයට එනවා. දරුඵල නැති අය ගොඩාක් මේ දේවාලයට එනවා. මඩකලපුව, වැලිමඩ පැත්තේ මිනිස්සුත් එනවා. පූජා තියෙන්නේ අඟහරුවාදා, සිකුරාදා. පෝය දවසටත් පූජා පවත්වනවා. දේවාලය පවත්වාගෙන යන්න තව කිහිප දෙනෙකුත් ඉන්නවා. හැම අවුරුද්දකම අපි පෙරහැරකුත් පවත්වනවා. කවුරු පිහිට නොවූවත් පත්තිනි මෑණි අපිට පිහිට වන බව අපිට හොඳටම විශ්වාසයි. අපේ දුක අහසන්නේ පත්ති මෑණියෝ විතරයි නෝනා......"

වේයන්ගොඩ කනත්තේ ජීවත් වන ලෙච්චමිලාට දුක ගැන අමුතුවෙන් කියන්න  ඕන නැහැ. මම යනවිටත් අත්හැර දැමූ මල්වඩම් කනත්තේ තැන තැන තිබුණා. කනත්තේ මිනිස්සුන්ට නිතරම ඇහෙන්නේ වැළපුම් හඬ විතරයි. මේ මිනිස්සුන්ට සිනා හඬක් නෑසෙන තරම්. සිංහල අවුරුදු උත්සවලට සහභාගි වෙන්න පවා මේ දරුවන්ට අවසරක් නැහැ. "අපිට මෙතැන ඉන්න බැහැ. මෙතැනින් කොහේ හරි යන්න  ඕන..." ලෙච්චමි දෙතුන් විටක් කීවේ ඔවුන් විඳින මේ පීඩාව නිසාම වෙන්න ඇති.

"ජීවත් වෙන්න සල්ලි නැතිවුණාම මම පොළියටත් සල්ලි ගන්නවා. පොළි ගෙවන්න ගියාම අපිට කීයවත් ඉතුරු වෙන්නෙත් නැහැ. මෙතැන හිටියොත් අපිට වෙන්නේ හැමදාම ණය ගෙවන්න විතරයි...."
පැහැදිලිවම ලෙච්චමිගේ මේ කථාවේ තියෙන්නේ දේශපාලන අර්ථයක්. ඔවුන්ට හැමදාම ණය ගෙව ගෙව ඉන්න බැහැ. ඔවුන් යන්න හදන්නේ කනත්තෙන් විතරක් නෙමෙයි. තමන් විදින කාලකණ්ණි ජීවිතයෙනුත් ඔවුන්ට ගැලවෙන්න  ඕන. අවාසනාවකට ඒ සඳහා උදව්වක් කනත්තේ ඉන්න ලෙච්චමිලාට ලැබෙන්නේ නැහැ. බොහෝ දේශපාලනඥයින්ට කනත්තේ මිනිස්සු  ඕන වෙන්නේ ඡුන්දේ කාලෙට විතරයි. කනත්තේ තියෙන පොදු රැුස්වීම් ශාලාවේදී ඔවුන් බොහෝ පොරොන්දු කනත්තේ මිනිස්සුන්ට දෙනවා. ඒත් තාමත් ලෙච්චමිලා ඉන්නේ කනත්තේ. අදටත් මේ අයට වේයන්ගොඩ ටවුම අය කියන්නේ කනත්තේ මිනිස්සු කියලා. නමුත් ලෙච්චමිලා නම් ඒ හැඳින්වීමට කොහෙත්ම කැමැති නැහැ. ලෙච්චිමිලා කියන්නේ අපි වත්තේ මිනිස්සු කියලා. ඒකෙන්ම ඔවුන්ට ඔවුන්ගේ අපේක්ෂාව පැහැදිලි වෙනවා. ඔවුන්ට  ඕන නිදහස. මිනිසෙක් වගේ ජීවත් වීමේ නිදහස.

"ඉස්සර අපි ඇන්දේ අනුන්ගේ ඇඳුම්. කෑවේ අනුන්ගේ කෑම. රස්සාවට අපි දේවාලෙදි සාත්තරත් කිව්වා. දැනුත් සාස්තර කියන කිහිප දෙනකේ ඉන්නවා. ඒත් දැන් ඉන්න දරුවෝ වෙනස්. ඉගෙන ගන්න කැමති අය ගොඩක් මෙහේ ඉන්නවා. ගිය අවුරුද්දේ අපේ ළමයෙක් ශිෂ්‍යත්වයෙන් පාස් වුණා. ලකුණු 154ක් ගත්තා. දැන් ඒ දරුවා ගම්පහ හොඳ පාසලක ඉගෙන ගන්නවා. තවත් ගෑණු ළමයෙක් ඒ ලෙවල් කරනවා. ඒ දැරිවිට  ඕන නීතිඥ නෝනා කෙනෙක් වෙන්නලූ. ඒ ළමයි ලොකු වෙනකොට මේ ලැයිමේ ඉන්න කැමති වෙන එකක් නැහැ. ගෙවල් 55ටම තියෙන්නේ වැසිකිළි 3යි. එක ළිඳයි. දවසක් ළිඳෙන් දුඟදක් ආවා. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. සතියක් විතර ළිඳේ වතුර බිව්වා. පස්සේ අපේ ළමයි ළිඳ ඉස්සා. එතොකොට තමයි අපි දැක්කේ ළිඳ පතුලේ පූසකුගේ ඇටකටු....."

කුණු අදින මිනිස්සුන්ට මොන සෞඛ්‍ය පහසුකම්ද කියලා ලෙච්චමිගේ මේ කථාව අහන කොට සමහර අය මාත් එක්ක තර්ක කරන්න පුළුවන්. ඒත් කනත්තේ ජීවත් වුණත් ඔවුන් මිනිස්සු. අපිත් මිනිස්සු. අපිට තියෙන මිනිස්කම මේ මිනිස්සුන්ට අහිමි වෙලා. ඔවුන්ගේ පවුල් විසිරිලා. පවුලේ සැලසුමක් නැහැ. අඩුවයස් විවාහ බොහෝ විට සිදු වෙනවා. සමහරුන්ට ඡුන්ද අයිතියත් නැහැ. ටවුමේ මිනිස්සු ලෙච්චමිලා දිහා බලන්නේ සැකයෙන්. මේ මිනිස්සුන්ට කිසිවෙක් ගෞරව කරන්නෙත් නැහැ.

සාමාන්‍යයෙන් කනත්ත බොහෝ අයට මතක් වෙන්නේ මිනිහෙක් මැරුණම විතරයි.  මිනිය වල දැම්මට පස්සේ මිනිස්සුන්ට කනත්ත  අමතක වෙනවා. මිනිස්සු කනත්ත දකින්නත් අකැමැතියි. මතක් කරන්නත් බයයි. ඒත් ලෙච්චමිලාට හැමදාම උදේ සවස කනත්ත පේනවා. කනත්තේ ජීවත් වෙනවා. ඒත් ඔවුන්ට කනත්තත් අයිති නැහැ.

ගේ‍්‍රෂානි මිකාශා